Sunday 31st of May 2026

English Tamil
Advertiesment


ජීවිතයෙන් වසර 65 ක් බුදු දහමට කැප කළ මහරගම ධම්මසිරි වොෂින්ටන් ලොකු හාමුදුරුවෝ


2024-08-21 14910

 

(ඇමරිකාවේ වොෂින්ටන් විහාරාධිපති සහ උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නා හිමිගේ 75 වන ජන්ම දිනය  නිමිත්තෙනි)

 

2024 අගෝ: 25 වන දින ධම්මසිරි නාහිමිගේ ජන්ම දින සැමරුම ගිහි පැවිදි විශාල පිරිසකගේ ආශීර්වාදයෙන් ගේටර්ස්බර්ග් භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.  ඇමෙරිකාව හා රටවල කිහිපයක නාහිමිවරු වොෂින්ටන් ඩී සී, මේරිලන්ඩ්,  වර්ජිනියා ඇතුළු ජනතාව ද එක්වීමට නියමිතය. ඇමෙරිකාවේ සෙනෙට් හා කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන්, මේරිලන්ඩ් ආණ්ඩුකාර 
කාර්යාලය හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද  පුණ්‍යෝත්සවයට එක්වේ.

මඩිහේ මහනාහිමි විසින් එකතුකල මුදලක් හා එවකට අගමැති ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ පරිත්‍යාග තුළින් ඇමෙරිකාවේ පළමු ථේරවාදී  පංසල ලෙස වොෂින්ටන් විහාරය 1967 දී ආරම්භවී තිබේ. පංසලට අදාළ ව්‍යවස්ථාව තුළ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති දායක සභාවේ ප්‍රධාන අනුශාසක ලෙස නිළ බලයෙන් පත්වේ.

1949 දී ගුණදාස පීරිස් ලෙස මහරගම දී ජන්ම ලාභය ලබා පාසල් අධ්‍යාපනයෙන් පසු පරමවිඥාණායතනයේදී අධ්‍යාපනය ලබා 1960 දී මඩිහේ පඤ්ඤාසීහ හා අම්පිටියේ රාහුල නාහිමිවරුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ධම්මසිරි නාහිමි පැවිදි විය. උසස් අධ්‍යාපනයෙන් පසු 1971 දී උපසම්පදාව ලබා අනතුරුව මහරගම ධර්මායතනයේ කථිකාචාර්ය හා ගුරු අභ්‍යාස විදුහලේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද ක්‍රියා කළේය.

1987 දී වොෂින්ටන් වෙත වැඩම කොට වසරක් තුළ විහාරාධිපති ධුරයට පත් නාහිමි  බුදු දහම හා එම ඉගැන්වීමි ඇමෙරිකාව තුළ ප්‍රචලිත කිරීමට පෙරමුණ ගත්තේය. ඇමෙරිකාවේ වසර 37 ක් ඇතුළු ජීවිතයෙන් වසර 65 ක් පුරා ධම්මසිරි නාහිමි කල ආගමික හා සමාජ මෙහෙය පැසසුමට ලක්වේ. උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හා  ශ්‍රී ධර්ම රක්ෂිත වංශදිවාජ ගෞරව නාම අමරපුර නිකායෙන් පිදුම් ලැබුවේද ඉටුකල සේවය හේතුවෙනි.

2021 සිට තානාපති ලෙස මා රාජකාරි කරන සමය තුළ නාහිමිගේ ඇසුර, අනුශාසනා හා මග පෙන්වීම මහත් රුකුලක් වුහ.  නාහිමි තුළ බුදුදහමට ඇති කැපවීම,උත්සාහය, පරාර්ථකාමය සමාජයට මහත් ආදර්ශයකි. ධම්මසිරි නාහිමිට  සෞඛ්‍ය සම්පන්න තිරජීවණය පතමි.

 

 

-මහින්ද සමරසිංහ-

 

(ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති)

Advertiesment